ඒක ලිව්වේ මම නෙමෙයි… ප්‍රියන්තත් නෙමෙයි.. අපි දෙන්නාගේ යාලුකම…!!!
“මන්දාරා”
ප්‍රියන්ත කොළඹගේ සහ මම….!!!
මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා, මගේ මතකය නිවැරදි නම් 2006දි විතර දවසක මට ඇමතුමක් ආවා නොදන්නා අංකයකින්. මම ඒ වෙලාවෙ හිටියෙ කොළඹ ශාන්ත පීතර විදුහලේ ප්‍රාථමික අංශයට ඇතුළු වෙන තැන පඩිපෙල නගිමින්.
“වජිර… මට ඔයාව හම්බ වෙන්න ඕනැ… මම කතා කරන්නේ ප්‍රියන්ත කොළඹගේ කියල කෙනෙක්…” ඇමතුමේ සාරාංශය එයයි…! ඒ වෙනකොට මම ප්‍රියන්තව දැනගෙන හිටියා. ඒ නිර්මාණ තුළින්. ඔහුගේ “අරුමෝසම් වැහි” චිත්‍රපටය මා දුටුවේ “හඳයා” ට පසුව බිහිවූ හොඳම ළමා චිත්‍රපටය විදිහට. නමුත් මම මේ වෙනකොට කිසිදු ආකාරයකින් හෝ තිර රචනා, නවකතා, ආදිය ලියා තිබුනේ නැහැ. මේ හින්දා මගේ සිත එක්වරම කිව්වේ කවුරු හරි මගේම යාගුවෙක් මට ලනුවක් දුන් බවයි.
“ප්‍රියන්ත… මම ඉන්නේ පුතාගේ ඉස්කොලෙ… මම ඔයාට කතා කරන්නම්…” මම කිව්වා. ඊට පස්සෙ නැවත කාර්යාලයට ගිහින් මට ලැබුන ඇමතුමටම මම කෝල් එකක් ගත්තා. නැවතත් අර පරණ පුරුදු හඬ…!
”මම ප්‍රීයන්ත” ඔහු කිව්වා.
“මගේ නොම්මරේ කොහෙන්ද දැනගත්තෙ…” මම ඇහුවා.
“මම ඒක ගත්තේ චමින්ද ගමගේ ගෙන්…” ප්‍රියන්ත සිනාසුනා.
චමින්ද ගමගේ ඒ වෙනකොට මගේ ඉමිඩියට් බොස්…! ඒ වගේම නන්දා මාලිනියගේ බෑනා… ධර්මසිරි ගමගේගෙ පුතා…!! මට චමින්ද ගැන පොඩි චකිතයක් තිබුනා. ඒ නන්දා මාලිනියව විවේචනය කරලා මම ලියූ කර්කෂ ලිපියක් සම්බන්ධයෙන්. නමුත් චමින්ද කවදාවත් මගෙන් ඒ ගැන ඇහුවෙවත්, ඒ සම්බන්ධයෙන් මගෙන් පළි ගත්තේවත් නැහැ. ඒ හින්දා චමින්ද අතරමැද ඉන්නවා කියල හිතාගෙන මම ප්‍රියන්තව හමු වුනා.
ඒක ඉතාම සුන්දර හමුවීමක්. මම හිතන්නේ එක් කුස නූපන්නත් මට සහෝදරයෙක් ලැබුනා කියනවා වගේ දෙයක් දැනුනා. අපි හුගක් පෞද්ගලික දේවල් කතා කළා. මගේ දියණියව පාසැලකට ඇතුළත් කරගන්න ඔහු විශාල උත්සහයක් කළා. මේ විදිහට අපි දවස් ගානක් හමු වුනා.
අන්තිමට අපි දෙන්නා සිනමා තිර රචනයක් ලියන්න පටන් ගත්තා. ඒක ලිව්වේ මම නෙමෙයි… ප්‍රියන්තත් නෙමෙයි.. අපි දෙන්නාගේ යාලුකම…!!!
හැබැයි ඒක කෙරුනේ නැහැ. ඒත් අපේ යාලුකම තිබුනා. ඊට පස්සෙ ප්‍රියන්ත “ආදරණිය කතාවක්” වෙන කෙනෙක් එක්ක ලිව්වා. අවසාන මොහොතේදි ඒ ලියූ තිර රචනයම අමතක කරලා අපි දෙන්නට වෙනම විදිහකට වාඩි වෙන්න සිදු වුනා. “දේදුනු ආකාසෙ” ආවේ “ආදරණිය කතාවක්” විජයග්‍රහණයට පස්සෙ… ඒක මමත් ප්‍රියන්තත් ලියපු කතාවක් නෙමෙයි. ඒත් තිර රචනයේ අවසන් අදියරේදි මට එයට දායක වෙන්න සිදු වුනේ ප්‍රියන්තගෙ ඉල්ලිම මත…
ඒ සියල්ල අතරේ මගේ හිතේ කොස්සකුත් තිබුනා. ඇයි…?? මමයි ප්‍රියන්තයි එක්වෙලා ලියපු ඒවා නැතිව තවත් කෙනෙක් අතපත ගාපු දේවල් වලට මට අත ගහන්න වෙන්නෙ මොකද කියන එක. හැබැයි ප්‍රියන්ත ඒක බින්දේ “මන්දාරා” චිත්‍රපටයෙන්.
මේක ස්ථර කිහිපයක් සමාන්තරව ගලමින්, කාලය හා අවකාශයට අභියෝග කරමින්, සම්මත රීති බිඳ දමමින්, අලුත් නව නිතීරිති සමුදායක් එක් කරන අපූර්ව නිර්මාණයක්. ඇත්තටම… එය පළමු දර්ශනය දුටුවහම මට දැනුනේ මම සම්බන්ධ වූ නිර්මාණයක් නොවන තරමට එය අපූර්වත්වයෙන් පිරි නිර්මාණයක් බවයි.
ඉතින් මෙය නරඹන්න… ප්‍රියන්තගේත් මගේත් අර නොකෙරුන සිනමා නිර්මාණය “සුරිය සුළ`ඟ” ළගදිම හමාවි. එතෙක් අපි “මන්දාරා” වෙත අවධානය යොමු කරමු.
ස්තුතියි.
වජිර කස්තුරි.
Post Comment