එලිෆන්ට් පාස් – ප්‍රධාන භූමිකාව හේමාල්ට
නිරන්තරයෙන් අලි මිනිස් ගැටුමට ලක්වන ගම්මානයක ජීවත් වන දරුවන් තිදෙනෙකු ගැන කියැවෙන එලිෆන්ට් පාස් (Elephant Pass) චිත්‍රපටය සිංහල සිනමාව තුළ මින්පෙර එතරම් කතාබහ නොකළ සිද්ධි දාමයක් වටා දිවයන අතර, මෙය ළමයින්ට මෙන්ම වැඩිහිටයන්ට ද එක සේ රස විඳිය හැකි නිර්මාණයක්.
එලිෆන්ට් පාස් (Elephant Pass) චිත්‍රපටයේ කතාව දිවෙන්නේ නිරන්තරයෙන් අලි මිනිස් ගැටුම්වලට මුහුණපාන ගම්මානයක ජීවත් වන අර්බුදකාරී පවුල් පසුබිමකින් පැමිණෙන රුසිරු, ගැජමැටික් හා මැතමැට්ටී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එකිනෙකට වෙනස් හැකියාවන් සහිත විශේෂ දරුවන් තිදෙනෙකු වටායි.
තම පවුල මෙන්ම ගම්වැසියන් ද එකසේ මුහුණපාන අලි මිනිස් ගැටුමට තමන්ටම අනන්‍ය වූ විසඳුමක් සොයා යන රුසිරු ප්රමුඛ දරුවන්ට සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය තුළ විටෙක ප්‍රතික්ෂේප වීමට හා විටෙක දඬුවම් විඳීමට ද සිදු වෙයි. මේ අතර ගමට පැමිණෙන පිටස්තර තරුණයෙක් ඔවුන්ගේ විශේෂ ශක්‍යතා හඳුනා ගන්නා අතර එම හැකියා වර්ධනයට අවශ්‍ය මාවත සකසා දෙයි.
ඇදවැටෙන, අසාර්ථක වන හා අසමත්වන මෙම දරුවන් අවසානයේ තම ගැටලුවට සොයා ගන්නා විසඳුම කුමක් වනු ඇතිද? එලිෆන්ට් පාස් (Elephant Pass) යනු ඔවුන් බාධක කම්කටොලු හරහා ගමන් කරමින්, අලි – මිනිස් ගැටලුවට විසඳුමක් සොයා යන චාරිකාව පිළිබඳ කතාන්දරයයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ලාංකීය සිනමාවේ වර්තමානයේදී වැඩිම රසික ආකර්ෂණයක් හිමි නලුවා ලෙසට පිළිගැනෙන හේමාල් රණසිංහ විසිනුයි. විජයබා කොල්ලය, ප්‍රවේගය, ක්ෂීර සාගරය කැළඹිණ, සුපර් සික්ස්, ආශාවරී ආදී සිනමාපට 10කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිත නිරූපණය කළ හේමාල් රණසිංහ මෙරට සිනමාපටයක රංගනය සඳහා වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පියා ද වනවා.
ඊට අමතරව බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාරඋන්නැහෙ, කෞෂල්‍යා ප්‍රනාන්දු, තිලක්ෂනී රත්නායක, රත්නා ලාලනී ජයකොඩි, සුජානි මේනකා, ප්‍රියංකා සමරවීර, අංජන ප්‍රේමරත්න, මයුර කාංචන පෙරේරා, සමන් පී. දිසානායක සමඟින් දයා වයමන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එලිෆන්ට් පාස් (Elephant Pass) චිත්‍රපටය සඳහා එක්වනවා.
සිනමාපටයේ ළමා චරිත රඟපාන්නේ පළමු වරට සිනමාවට හඳුන්වා දෙන ළමා නලුවන් පස් දෙනෙකුයි.
පාලිත පෙරේරා විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර මෙහි තිර පිටපත් රචනය සිදු කොට තිබෙන්නේ ඔහු විසිනි. දමිත් දහනායක සහ වෛද්‍ය ප්‍රමෝද් චන්දිම රත්නායක ද එලිෆන්ට් පාස් පිටපත රචනය සඳහා එක්ව තිබෙනවා. මෙය පාලිත පෙරේරාගේ දෙවන අධ්‍යක්ෂණයයි.
මීට පෙර ඔහු විසින් තාල (2019) ළමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර කෝටි 10කට අධික Box Office ආදායමක් වාර්තා කළ එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද එලිෆන්ට් පාස් (Elephant Pass) හි ප්‍රධාන චරිත රඟපාන හේමාල් රණසිංහ විසින්මයි. එමෙන්ම සංඛාරා – ඇවිලෙන සුලුයි – විෂම භාග – ගෝල් – බොරදිය පොකුණ – කර්ම චිත්‍රපටවල කැමරාකරණය හැසිර වූයේ ද පාලිත පෙරේරායි.
එලිෆන්ට් පාස් (Elephant Pass) සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ චින්තක සෝමකීර්තියි. මන්ජුල අයගම විසින් කලා අධ්‍යක්ෂණයත්, ප්‍රියන්ත දිසානායක විසින් වේෂ නිරූපණයත් සිදු කරනවා. ඇඳුම් නිර්මාණකරණය සුරේශ් මධුසංඛයි.
අචල සොලමන්ගේ ගී තනුවලින් එලිෆන්ට් පාස් (Elephant Pass) සිනමාපටය හැඩවන අතර, තිස්ස සුරෙන්ද්‍ර සංස්කරණයෙන් සම්බන්ධ වනවා. අසංක වික්‍රමසිරි චිත්‍රපටයේ වර්ණ සංයෝජක ශිල්පියායි. ශබ්ද පරිපාලනය සහ හඬ කැවීම් සිදුවන්නේ අතුල ජයසිංහගේ මූලිකත්වයෙනි. නලින්ද ප්‍රේමරත්න මෙහි පළමු සහාය අධ්යක්ෂකවරයායි. නිෂ්පාදන කළමනාකරණයෙන් සම්බන්ධ වන්නේ දමින්ද ඩී. මඩවලයි.
එලිෆන්ට් පාස් (Elephant Pass) සිනමාවට නැඟීම සඳහා නිෂ්පාදන පිරිවැය දරන්නේ නිලාන් වීරසිංහ විසිනුයි. 2019දී පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ තාල චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ ද ඔහුයි.
මේ වනවිට උතුරුමැද පළාතේ ගල්ගමුව සහ ඇහැටුවැව ආදී ප්‍රදේශ ආශ්‍රිතව චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙමින් තිබෙන අතර මාස 02ක පමණ කාලයකදී දර්ශන සියල්ලම රූගත කොට අවසන් කිරීමටයි නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කර තිබෙන්නේ… මෙය රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැය කරමින් නිෂ්පාදනය වන දැවැන්ත සිනමා නිර්මාණයක්!
Post Comment